Skip to main content

වාමාංශික හා දක්ෂණාංශික නම් හැදුන හැටි / Where Did the Terms 'Left Wing' and 'Right Wing' Come From?

 

වාමාංශික හා දක්ෂණාංශික වචන ඔබට නිතර ඇහෙනවා ඇති. මේ වචන පළමුව භාවිතා වුයේ ප්‍රංශ විප්ලවය තුළ සිදුවූ දේශපාලන සාකච්ඡා වල දේශපාලකයන් අසුන් ගැනීමට ආසන පැනවීමට ස්ථාන සැකසීමේ දී බව ඔබ දන්නවා ද?

ප්‍රංශ ජාතික සභාවේ සාමාජිකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ආරම්භ කිරීම සඳහා 1789 ගිම්හානයේදී රැස්විය. රජුට කොපමණ බලයක් තිබිය යුතුද යන්න පිළිබඳව නියෝජිතයින් දැඩි ලෙස බෙදී ඇති අතර, විවාදය ඇති වූ විට, ප්‍රධාන කණ්ඩායම් දෙක  රැස්වීම් ශාලාවේ පැති බෙදා ගත්තේය. රාජකීය විරෝධී විප්ලවවාදීන් මුලසුන දැරූ නිලධාරියාගේ වම්පස තෝරාගත් අතර, රාජාණ්ඩුවේ ගතානුගතික, වංශාධිපති ආධාරකරුවන් දකුණට රැස්ව සිටියහ.

"මම ශාලාවේ විවිධ ප්‍රදේශවල හිඳීමට උත්සාහ කළෙමි , මගේ මතය මගේ තනි මතය බව පෙන්වීමට මට උවමනා විය. " මෙයට සහභාගී වූ බැරන් වරයෙක් එසේ ප්‍රකාශ කළේය. මේ අනුව පැහැදිලි වන්නේ අසුන් ගත් ස්ථානය අනුව විවාදයේ ප්‍රධාන කණ්ඩායම් දෙකෙන් එකකට දේශපාලකයන් ස්වාභාවිකවම අයිති වන ස්භාවයක් රැස්වීම් තුළ පැවති බවයි.

1790 වන තෙක් මෙම බෙදීම ශාලාව තුල දක්නට ලැබුණි. ප්‍රංශ සමුළුවේ ප්‍රගතිශීලී වම හා සාම්ප්‍රදායික දකුණ ලෙස පුවත් පත් වල ලිපි ලියන්නන් දේශපාලන මත හදුන්වන්නට විය. නැපෝලියන් බොනපාට් පාලන කාලය තුළ මෙම බෙදීම අතුරුදහන් වුවත් , නැවත 1814 දී බෝර්බොන් පාලන සමයේ නැවත නිදහස් හා සාම්ප්‍රදායික මත දරණ දේශපාලකයින් කුටිය වම සහ දකුණ ලෙස බෙදා ගෙන අසුන් ගන්නා ලදී. 19 සියවසේ මැද භාගය වන විට ප්‍රංශ භාෂාවට වාමාංශික හා දක්ෂණාංශික වචන දේශපාලන මත නිරූපණය කරන කෙටි යෙදුම් ලෙස  ඇතුළත් විය. දේශපාලන පක්ෂ තමන්ව හඳුන්වාදීම සදහා මෙම වචන භාවිතා කිරීම මේ සමග ආරම්භ විය.

ප්‍රංශයෙන් ආරම්භ වූ මෙම දේශපාලන බෙදීම ලෝකයට කාන්දු වීම 1800 පමණ වන විට ආරම්භ විය. නමුත් ඉංග්‍රීසි බස කතා කරන රටවල් වල මෙය ප්‍රචලිත වූයේ 20 වන සියවස තුළයි. වර්තමානයේ දේශපාලන මතයන්ගේ අන්තයන් දැක්වීමට මෙම වචන භාවිතා කරයි. අන්ත දෙකක දේශපාලන මත දරන පක්ෂ වල දේශපාලකයින් පාර්ලිමේන්තු තුළ අසුන් ගැනීමේදී එකිනෙකාට ප්‍රතිවිරුද්ධව අසුන් ගැනීම අදත් ප්‍රංශ සම්ප්‍රදාය අනුගමනය කරමින් සිදුකරන අයුරු ඔබට නිරීක්ෂණය කළ හැක.

Comments

Popular posts from this blog

විභාග ලේසියෙන් සමත් වෙමු